2026.09.08

දුම්බර හරිත සවිය” මඟින් සංවර්ධනය කළ කොස්වාන දකුණ ඇළ හා මඩුගහවෙල අමුණ අමාත්‍ය නිරීක්ෂණයට...





දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන තිරසර වාරි පද්ධතියක් තුළින් ගොවි ජනතාවට සහ ප්‍රදේශයේ පරිසර පද්ධතියට ප්‍රතිලාභ රැසක්





"දුම්බර හරිත සවිය” ව්‍යාපෘතියේ දායකත්වයෙන්, ගොවි ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය කරන ලද රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්වාන දකුණ ඇළ හා අමුණ සහ මඩුගහවෙල අමුණ හා ඇළ පද්ධතිය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

ගොවි ජනතාවගේ දිගුකාලීන ජල අවශ්‍යතා සපුරාලීම මෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ජල හිඟය ඇතුළු අභියෝගවලට ඔරොත්තු දිය හැකි තිරසර ඉඩම් හා ජල කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම අරමුණු කරගනිමින් මෙම සංවර්ධන කටයුතු සිදු කර ඇත.





“දුම්බර හරිත සවිය” ව්‍යාපෘතියේ තිරසාර ඉඩම් කළමනාකරණය යන ප්‍රධාන සංරචකය යටතේ, ගොවි ජනතාවගෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, කොස්වාන දකුණ ඇළ හා අමුණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20ක පමණද, මඩුගහවෙල අමුණ හා ඇළ පද්ධතිය සඳහා රුපියල් මිලියන 6.325ක පමණ මුදලක් වැය කර ඇත.

මෙම සංවර්ධන කටයුතු මඟින් ප්‍රදේශයේ ගොවි ජනතාවට වඩාත් විශ්වාසදායක හා තිරසාර ජල සැපයුමක් හිමිවන අතර, වියළි කාලවලදී වගාවන් සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමට හැකිවීම හේතුවෙන් වගා තීව්‍රතාව ඉහළ නැංවීමට සහ ගොවි ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම වැසි සමයේ ලැබෙන ජලය නිසි පරිදි රඳවා තබා ගැනීම තුළින් භූගත ජල මට්ටම ඉහළ නැංවීම, වියළි කාලවල ජල අවශ්‍යතා සපුරාලීම සහ ජල මාර්ග හා ජලාශවලට රොන්මඩ එක්රැස් වීම අවම කිරීමද මෙම සංවර්ධන කටයුතුවලින් අපේක්ෂිත ප්‍රධාන ප්‍රතිලාභ අතර වේ.




තවද, වැසි ජලය ක්ෂණිකව ස්වාභාවික ජල මාර්ග වෙත ගලා යාම පාලනය කිරීම මඟින් ප්‍රදේශයේ ජල සම්පත් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට හැකිවන අතර, වියළි කාලවලදී වන සතුන්ගේ ජල අවශ්‍යතා සඳහාද ප්‍රයෝජනවත් වන ජල මූලාශ්‍රයක් පවත්වාගෙන යාමට මෙම ව්‍යාපෘති දායක වනු ඇත.

වී වගාවේ ප්‍රධාන කන්න දෙකට අමතරව අතුරු බෝග වගාව සඳහා ගොවි ජනතාව දිරිගැන්වීම සහ ඒ සඳහා අවශ්‍ය ජල පහසුකම් සපයා දීම මඟින් වසර පුරා ගොවි ජනතාවගේ ඉඩම් ඵලදායී ලෙස භාවිත කරමින් අමතර ආදායම් අවස්ථා උත්පාදනය කිරීමටද අවස්ථාව සැලසෙනු ඇත.

මෙම සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග විෂය භාර අමාත්‍යවරයා, සිදුකර ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ අතර, සංවර්ධනය කරන ලද වාරි පද්ධති කඩිනමින් ප්‍රතිලාභී ගොවි ජනතාවගේ පරිහරණයට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.




අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙවැනි සංවර්ධන ව්‍යාපෘති හරහා ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම පමණක් නොව, දේශගුණික විපර්යාසයන්ට අනුව කෘෂිකාර්මික කටයුතු වඩාත් තිරසාර හා ඔරොත්තු දෙන ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පදනම ශක්තිමත් කළ යුතු බවයි.

“දුම්බර හරිත සවිය” ව්‍යාපෘතිය මඟින් සිදුකරනු ලබන මෙවැනි ජල හා ඉඩම් කළමනාකරණ මැදිහත්වීම් ගොවි ජනතාවගේ වගා කටයුතු සඳහා ජල සුරක්ෂිතතාව ඇති කිරීම, දේශගුණික අවදානම් අවම කිරීම, කෘෂිකාර්මික ඵලදායීතාව වැඩි කිරීම සහ ප්‍රදේශයේ පරිසර පද්ධතිවල ජල සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා දිගුකාලීන දායකත්වයක් සපයනු ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා දුම්බර හරිත සවිය ව්‍යාපෘති කළමනාකරු මහින්ද රණසිංහ, සංරචක 01 ප්‍රධානී ඉංජිනේරු රෝහිත තිලකරත්න, උපදේශක ආචාර්ය ආනන්ද සුබසිංහ, කලාප කළමනාකරු කලණ දම්පිය යන මහත්වරුන් ඇතුළු ව්‍යාපෘති නිලධාරීන්, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.